he

Wednesday, September 16, 2026

විරහ ගීත කලාවේ රජු

සිංහල ගීත කලාවේ ඇතැම් ගීත තිබේ. ඒවා හුදෙක් දෙසවන් වලට ඇසෙන ගීතම පමනක්ම නොව, හදවතේ ගැඹුරු තැන්වල නිහඬව තැන්පත් වන හඬ මතකයකි. එවැනි අමරණීය හඬක් හිමි වූ ගායකයෙකු ගැන සටහනක් මෙසේ ඉදිරිපත් කරමි. ඔහු වෙන කවුරුවත් නොව විරහ ගී ලොවේ රජු ලෙස කිරුලු පලන් මිල්ටන් මල්ලවආරච්චි නම්වූ ගා‍යක‍යා‍ය. ශ්‍රී ලාංකීය සංගීත ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටී ඔහු. විශේෂයෙන්ම විරහව, ආදරය, තනිකම, බලාපොරොත්තුව සහ මතකයන් ගීතයක් තුළින් හදවතට දැනෙන ආකාරයෙන් ඉදිරිපත් කළ නිසා ඔහුවිරහ ගීත කලාවේ රජුලෙස රසික හදවත් තුළ අදත් කිරුළු පැළඳ සිටී 

 

මිල්ටන් මල්ලවආරච්චිගේ ගායන ශෛලියේ විශේෂත්වය වූයේ අතිශය සරල බව තුළින් ගැඹුරු හැඟීමක් මතු කිරීමයි. ඔහුගේ හඬේ තිබූ මෘදු බව, සංවේදී බව සහ නිහඬ වේදනාව නිසා ගීතයක වචනවලට නව ජීවයක් ලැබුණි. ආදරයෙන් වෙන්වීමක් ගැන ගැයූ විට එය තමාගේම අත්දැකීමක් සේ රසිකයාට දැනෙන්නට විය. ආදරය ගැන ගැයූ විට එය තමන්ගේම ආදර කතාවක් සේ සිතන්නට හැකි විය. මේ නිසා මිල්ටන්ගේ ගීත එක් පරම්පරයකට පමණක් සීමා නොවී පරම්පරා ගණනාවක් පුරා ජනප්‍රිය වී ඇත.

 මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත අතරින් විරහ ගීතවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. “මේ මැ‍යි ගහ‍යට" "එදා රෑ”, “සිනහව අතරින්”, “අවසර නැත මට ”, “අන්සතුවී ඇතවැනි ගීත මෙන්ම ඔහු ගායනා කළ තවත් බොහෝ ගීතවලින් මිනිස් හදවතේ ඇති නොකියූ හැඟීම් සරලව හා සංවේදීව ප්‍රකාශ විය. ඔහුගේ ගීතවල වචන, තනු සහ ගායනය එකිනෙක සමඟ බැඳී ඇති ආකාරය නිසා ඒවා අදටත් රසිකයන් අතර ජීවමානව පවතී

 

මිල්ටන්ගේ සාර්ථකත්වය පිටුපස සිටි ගී පද රචකයන් සහ සංගීත නිර්මාණකරුවන් අමතක කළ නොහැකිය. කරුනාරත්න අබේසෙකර , කේ ඩී කේ ධර්මවර්දන ප්‍රේමකීර්ති අල්විස්, ස්ටැන්ලි පීරිස්, ක්ලැරන්ස් විජෙවර්දන ඉන් සමහරෙකි ප්‍රේමය, විරහව සහ ජීවිතයේ සියුම් අත්දැකීම් වචන බවට පත් කළ ගී පද රචකයන්ගේ නිර්මාණවලට මිල්ටන්ගේ හඬ මිල්ටන්ටම සුවිශේෂ වූ සුන්දර අරුතක් එක් කළේය. එමෙන්ම ප්‍රවීණ සංගීතඥයන් නිර්මාණය කළ තනු ඔහුගේ හඬ සමඟ එක් වූ විට ශ්‍රාවකයන්ගේ මතකයෙන් පහසුවෙන් මැකී නොයන ගීත බවට පත් වි‍ය

 

  ඔහුගේ ගීතවල තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කාලය ඉකුත් නොවූ ගීත ගැ‍යීමේ හැකියාවයි. ගීතයක් ජනප්‍රිය වන්නේ එය නිකුත් වූ කාලයේදී පමණක් නම් එහි ජනප්‍රියත්වය කාලයත් සමඟ අඩුවිය හැකිය. නමුත් මිල්ටන් මල්ලවආරච්චිගේ ගීතවලට එවැනි කාල සීමාවක් නොමැත. අද තරුණ පරම්පරාව පවා ඔහුගේ ගීත අසමින්, ගායනා කරමින් සහ නව තාක්ෂණය ඔස්සේ නැවත රසවිඳිමින් සිටීම ඔහුගේ ගීත කලාවේ දිගුකාලීන පැවැත්මට සාක්ෂියකි

 

 මිල්ටන්ගේ ගායනය තුළ තිබූ විරහවේ රසය, විශේෂයෙන්ම රාත්‍රියක නිහඬතාව සමඟ අපූරුවට ගැළපෙයි. තනිව සිටින මොහොතක, අතීත මතකයක් සිහිවන විට, අහිමි වූ ආදරයක් ගැන සිතෙන විට හෝ කිසිවෙකුට නොකියූ වේදනාවක් හදවතේ තබාගෙන සිටින විට, ඔහුගේ ගීයක් ඇසීම වෙනස්ම අත්දැකීමකි. හඬ තුළින් තමන්ගේම කතාවක් ඇසෙන බව බොහෝ රසිකයන්ට දැනෙන්නේ එබැවිනි.  

 කාලය ගෙවී ගියද මිල්ටන් මල්ලවආරච්චිගේ හඬ තවමත් නිහඬ නොවීම ඔහුගේ සැබෑ ජනප්‍රියත්වයයි. ගීතයක් අසන විට එහි ගායකයාගේ නම නොකියාම හඬ හඳුනාගත හැකි නම්, එය කලාකරුවෙකු ලැබූ විශාලතම ජයග්‍රහණයකි. මිල්ටන්ගේ හඬ එවැනි අනන්‍යතාවයකින් යුක්ත එකකි.  

  එබැවින් මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත යනු පැරණි ගීතම පමණක් නොවේ. ඒවා ආදරය අහිමිව විරහවට පෙම් බැදි මතකයන් සමඟ ජීවත් වූ පරම්පරා ගණනාවක හදවත් තුළ තවමත් හුස්ම ගන්නා මතකයන්ය.

 විරහවට හඬක් අවශ්‍ය වූ විට, හඬ මිල්ටන්ගේ හඬ විය. ආදරය මතකයක් වූ විට, මතකය මිල්ටන්ගේ ගීයකින් නැවත අවදි විය. නිසාම ශ්‍රී ලාංකීය ගීත කලාවේ මිල්ටන් මල්ලවආරච්චිට හිමි ස්ථානය අමරණීයය

 විරහ ගීත කලාවේ රජුයන නාමය රසිකයන් විසින් ඔහුට ලබා දුන් ආදරණීය ගෞරවයකි. එම කිරුළ අදත් හෙටත් ඔහුගේ ගීත සමඟ ජීවත් වේ.

No comments:

Post a Comment

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..