අද සමාජයේ සමහර මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය හදාගන්න තියෙන කාලයට වඩා අනුන්ගේ ජීවිත ගැන හොයන්න කාලය තියෙනවා. අනුන්ගේ පවුල්වල පුංචි අඩුපාඩුවක් දැක්කත් ඒක ලොකු කරලා කියන්න, සිද්ධියක් අහගත්තත් ඒකට තවත් කෑලි එකතු කරන්න, නොදන්නා දෙයක් ගැනත් දන්නවා වගේ කතා කරන්න සමහරු හරිම දක්ෂයි.
විශේෂයෙන්ම කෙනෙකුගේ පවුල් ජීවිතය, සැමියා සහ බිරිඳ අතර ඇති ගැටලු, දරුවන්ගේ ප්‍රශ්න, ආර්ථික අපහසුතා වගේ පෞද්ගලික දේවල් හොයන එක සමහරුන්ගෙ විනෝදාංශ බවට පත්වෙලා. තමන්ට කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්නවලට විනිශ්චයකාරයෝ වෙලා, තවත් කෙනෙකුගේ ජීවිතය ගැන තීන්දු දෙන්න සමහරු ඉදිරිපත් වෙනවා.
අනුන්ගේ ජීවිතවල තියෙන වැරදි හොයන හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේ වැරදි නැති අය නෙවෙයි.
සමහර වෙලාවට අනුන්ගේ වැරදි ගැන වැඩිපුරම කතා කරන කෙනා උත්සාහ කරන්නේ තමන්ගේ අඩුපාඩු අනිත් අයගෙන් වසන් කරගන්න වෙන්න පුළුවන්. අනුන්ගේ චරිතයට මඩ ගහලා, තමන් සුදනෙක් වගේ පෙනී ඉන්න උත්සාහ කරන අයත් සමාජයේ නැත්තෙ නෑ. තමන්ගේ ජීවිතයේ ඇති ප්‍රශ්නවලට මුහුණ දෙන්න ධෛර්යයක් නැති විට, තවත් කෙනෙකුගේ ජීවිතය විවේචනය කිරීමෙන් තාවකාලික සැනසීමක් ලබන අයත් ඉන්නවා.
කලාකරුවෙක්, ගායකයෙක්, නළුවෙක්, දේශපාලනඥයෙක් හෝ වෙනත් ජනප්‍රිය චරිතයක් සාර්ථකත්වයට පත්වුණාම ඔවුන්ගේ දක්ෂතා අගය කරනවාට වඩා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය හාරා අවුස්සන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා.
කෙනෙකුගේ වචනයක පුංචි අඩුපාඩුවක් අල්ලගෙන සමාජ මාධ්‍යවල විහිළුවට ලක් කරනවා. සම්පූර්ණ සත්‍යය නොදැන කටකතා පතුරවනවා. තහවුරු නොකළ තොරතුරු ඇත්තක් වගේ බෙදාහරිනවා. සමහරු තමන්ගේ ජනප්‍රියත්වය වැඩිකරගන්න හෝ අනුන්ගේ ජනප්‍රියත්වය අඩුකරන්න තවත් කෙනෙකුගේ නම සහ චරිතය පාවිච්චි කරනවා.
කෙනෙක් ජනප්‍රිය වුණා කියලා ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ජීවිතය විනාශ කරන්න අපට අයිතියක් ලැබෙන්නේ නැහැ. වැරැද්දක් සිදුවුණා නම් සාධාරණව විවේචනය කරන්න පුළුවන්. නමුත් පුද්ගලික වෛරය, ඊර්ෂ්‍යාව සහ අසත්‍ය කටකතා මත කෙනෙකුගේ චරිතය විනාශ කිරීම කිසිසේත්ම සාධාරණ නැහැ.
විවේචනයක් කරන්නේ යම් දෙයක හොඳ නරක සාධාරණව පෙන්වා දීමටයි. මඩ ගැසීම කරන්නේ බොහෝ විට තවත් කෙනෙකුගේ ගෞරවය නැති කිරීමටයි. මේ දෙක අතර වෙනස තේරුම් ගන්න බැරි සමාජයක, සත්‍යයට වඩා කටකතාව වේගයෙන් පැතිරෙනවා.
අනුන්ගේ ගෙදර ප්‍රශ්නයක් ගැන කතා කරන්න කලින් තමන්ගේ ගෙදර දෙස මොහොතක් හැරිලා බලන්න.
අනුන්ගේ දුර්වලතා ගැන හිනාවෙන ඔබට ඔබේ දුර්වලතා පෙනෙනවාද? අනුන්ගේ වැරදි ගැන විනිශ්චය දෙන ඔබ කවදාවත් වැරදි කරලා නැද්ද? තවත් කෙනෙකුගේ පවුලේ ප්‍රශ්නයක් ගැන ඕපාදූප කියන ඔබේ පවුල තුළ කිසිම ප්‍රශ්නයක් නැද්ද?
ලෝකයේ කිසිම මිනිසෙක් සම්පූර්ණයෙන්ම පරිපූර්ණ නැහැ. හැම පවුලකටම තමන්ටම ආවේණික ප්‍රශ්න තියෙනවා. පිටතින් සතුටින් පෙනෙන පවුලක් ඇතුළත කඳුළු සඟවාගෙන ඉන්න පුළුවන්. සිනහවෙන් ඉන්න කෙනෙක් හදවතින් විශාල වේදනාවක් දරාගෙන ඉන්න පුළුවන්.
ඒ නිසා අපි පිටතින් දකින දේ පමණක් පදනම් කරගෙන තවත් කෙනෙකුගේ ජීවිතය විනිශ්චය කරන්න එපා.
කටකතාවක් කියන්නේ නිකම්ම වචන කිහිපයක් විතරක් නොවෙයි. ඒක කෙනෙකුගේ මානසික සුවයට, පවුල් සබඳතාවලට, දරුවන්ගේ ජීවිතවලට සහ වසර ගණනාවක් තිස්සේ ගොඩනඟාගත් කීර්ති නාමයට බලපාන්න පුළුවන්.
ඔබ විනෝදයට කියන කතාවක් තවත් කෙනෙකුගේ ජීවිතයේ ලොකුම වේදනාව බවට පත්වෙන්න පුළුවන්. ඔබ සමාජ මාධ්‍යයන්හි බෙදාහරින නැත්නම් තෙරෙන භාශාවෙන් කියනවනම් Share කරන තහවුරු නොකළ පුවතක් කෙනෙකුගේ පවුලක් තුළ විශාල ගැටුමක් ඇති කරන්නත් පුළුවන්.
ඒ නිසා යමක් අහපු පමණින් එය තවත් කෙනෙකුට කියන්න එපා. සමාජ මාධ්‍යවල දැක්ක පමණින් එය ඇත්තක් කියලා පිළිගන්න එපා. ජනප්‍රිය කෙනෙකු ගැන වුණත්, සාමාන්‍ය පුද්ගලයෙකු ගැන වුණත්, සාධාරණත්වය සහ මනුෂ්‍යත්වය අමතක කරන්න එපා.
අනුන්ගේ ජීවිතවල වැරදි හොයන්න ගත කරන කාලයෙන් ටිකක් තමන්ගේ ජීවිතය හදාගන්න වැය කරන්න.
අනුන්ගේ පවුල්වල අඩුපාඩු ගැන කතා කරනවාට වඩා තමන්ගේ පවුලට ආදරය කරන්න. අනුන්ගේ සාර්ථකත්වයට ඊර්ෂ්‍යා කරනවාට වඩා තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න. අනුන්ගේ චරිතයට මඩ ගහනවාට වඩා තමන්ගේ චරිතය පිරිසිදු කරගන්න.
අනුන්ගේ ගෙදර පහන නිවන්න උත්සාහ කරන කෙනෙකුට තමන්ගේ ගෙදර තියෙන අඳුර අමතක වෙන්න පුළුවන්.
අනුන්ගේ චරිතයට මඩ ගහන කෙනෙකුට තමන්ගේ චරිතයේ පැල්ලම් නොපෙනෙන්න පුළුවන්.
අනුන්ගේ ජීවිත විනිශ්චය කරන්න කලින් තමන්ගේ ජීවිතය දිහා හැරිලා බලන්න.


No comments:
Post a Comment
මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..