ස්වර්ණවාහිනී නාලිකාවේ පසුගියදා අවසන් වූ “නටත් අයෙක් සුරාමතින්” ටෙලි නාට්යය පිළිබඳව සමාජ මාධ්ය ඔස්සේ පළවන විවිධ අදහස් දකිද්දී, මේ සටහන ලියන්නට සිතුණි. විශේෂයෙන්ම, බොහෝ ප්රේක්ෂකයන් බලාපොරොත්තු වූ ආකාරයේ අවසානයක් දකින්නට නොලැබීම නිසා ඔවුන් තුළ ඇති වූ කනස්සල්ල සහ නොසතුට මට සිතන්නට යමක් ඉතිරි කළේය.
ඇත්තෙන්ම, ප්රේක්ෂකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් බලාපොරොත්තු වූයේ කුමක්ද? පවුලක් කඩා බිඳී යන, එකිනෙකාගෙන් වෙන්වන සහ අවසානයේ සියලු දෙනාම තම තමන්ගේ වේදනාවන් සමඟ තනිවන අවසානයක් නොවේද? නන්දි අනාචාර සම්බන්ධතාවකට යොමු වී, එහි වරද ඇය පිට පැටවෙන අතර, ලද්දු කෙරෙහි ප්රේක්ෂක අනුකම්පාව තවදුරටත් වර්ධනය වන ආකාරයේ අවසානයක් බොහෝ දෙනකුගේ අපේක්ෂාව වූ බව පෙනෙන්නට තිබුණි. බොහෝ මත් ලෝලියන් තමන් මතට හිත යොමුකරන්නේ බිරින්දෑවරුන්ගේ වරදින් බව පෙන්වන්නට ප්රෙක්ශක සමාජයත් හුරුකරගේන සිටින නිසා එයත් එම පැත්තට කතාව යොමුවී කතාවේ අවසානය එසේ දකින්නට සිතුවා විය හැකියි.
එහෙත්, කතාව අවසන් වූයේ සියල්ලොම සතුටින් විසිරයන අවසානයක වුවත් ඒතුලින් සමාජයට විශාල පනිවුඩයක් පෙන්වා දුන්නේය. පවුලක වටිනාකම, සබඳතාවල සංකීර්ණත්වය සහ බිඳ වැටෙන්නට යන පවුලක් රැකගැනීමේ වැදගත්කම පිළිබඳව සිතන්නට අවස්ථාවක් ප්රෙක්ශකයාට ඉතිරි කලේය
අප ජීවත් වන සමාජය දෙස මඳක් විමසිල්ලෙන් බැලුවහොත්, අනුන්ගේ පවුල් ජීවිතවල පවතින ගැටලු තමන්ගේ වාසියට හරවා ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් හමුවීම අරුමයක් නොවේ. අන් අයගේ දුර්වලතා හඳුනාගෙන, ඔවුන් අතර පවතින ගැටුම් තවදුරටත් උග්ර කරමින්, තමන්ගේ ආශාවන් සහ අරමුණු ඉටුකරගැනීමට උත්සාහ කරන ධනංජයලා ද මේ සමාජයේ සිටිති.





