ශ්‍රී ලංකා සිනමාව තුළ සංගීත ලෝකයේ දැවැන්තයන්ගේ ජීවිත කතා රිදී තිරයට ගෙන ඒම අතිශය අභියෝගාත්මක මෙන්ම සංවේදී කාරණයකි. මෑතකදී දැඩි කතාබහට ලක්වන එච්.ආර්. ජෝතිපාලයන්ගේ චරිතය සඳහා සුනෙත් උදයරත්න සුදුසු බවට බොහෝ දෙනෙක් අදහස් පළ කරති. එහෙත්, මේ පිළිබඳව සිතා බලන විට මතුවන වැදගත් කාරණයක් නම්, සිනමාත්මක නිර්මාණයක් යනු චරිතයක් රඟපා පෙන්වීමක් මිස, එම පුරාවෘත්තය සැබෑ ජීවිතයෙන් තිරයෙන් ඔබ්බට බලහත්කාරයෙන් රැගෙන යාමක් නොවිය යුතු බවයි.
මීට පෙර, 'එදා රෑ' චිත්‍රපටය හරහා මිල්ටන් මල්ලවාරච්චිගේ චරිතය අපූරුවට ජීවමාන කළ රොෂාන් රවින්ද්‍ර අපට කදිම උදාහරණයකි. ඔහු එම චරිතයට උපරිම සාධාරණයක් කලේය.චිත්‍රපටිය තුලදී ඔහු රොශාන් රවින්ද්‍ර නොව මිල්ටන් මල්ලවාරච්චිය. ඒත් තිරයෙන් එළියේ ඔහු රොශාන් රවින්ද්‍රය.
එසේම, 'Clarence - The Rhythm of the Guitar' චිත්‍රපටයෙන් දමිත් විජේතුංග ක්ලැරන්ස් විජේවර්ධනගේ චරිතය ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙන ආ නමුත්, තිරයෙන් එපිට ඔහු දමිත් මිස ක්ලැරන්ස් නොවේ.
මෙයින් පැහැදිලි වන්නේ සිනමාවේදී නළුවාගේ භූමිකාව සහ චරිතයේ සීමාව මනා ලෙස ආරක්ෂා විය යුතු බවයි.
සිනමා කෘතියකදී වඩාත්ම වැදගත් වන්නේ නළුවාගේ රංගන කුසලතාවය සහ චරිතයට කරන කලාත්මක සාධාරණත්වයයි. එය හුදු රූප හෝ හඬ අනුකරණයකින් ඔබ්බට ගිය ගැඹුරු සිනමා අත්දැකීමක් විය යුතුය. එබැවින්, ජෝතිපාලයන්ගේ චරිතය වැනි සංවේදී චරිතයකට නළුවෙකු තෝරා ගැනීමේදී, සිනමාවේ ස්වරූපය සහ සැබෑ යථාර්ථය පටලවා නොගෙන කටයුතු කිරීම කලාත්මක සාර්ථකත්වයට හේතු වනු ඇත.


No comments:
Post a Comment
මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..